හෑලි


ඉමිහිරිම මතකය

PWIV kaumudu, doctorkaumudu, kaumudu

ඉස්සර වාගේ හවසට දොරකඩ ළඟ

මන් එනකන් මඟබලමින් නුඹ ඉන්න

දුර නම් වැඩි අපි දෙන්න දැන් ඉන්න

තාමත් ඒත් හිත හොයන්නේ ඒ හවස

ලයිට් කැපීම

PWIV kaumudu, doctorkaumudu, kaumudu

විදුලි කප්පාදුව නිසා රටක් හෙම්බත් වී ඇති මොහොතක මගේ මතකය මාගෙ ළමා කාලයට දිව යයි. හද්ද ඩොටේක තිබ්බ අපේ ගමට නං ලයිට් කැපීම/ නැතිවීම එතරම් දුලභ දෙයක් නොවේ. හුළගේ වේගය පොඩ්ඩක් වැඩි උනොත් ගස් කෙසේ වෙතත් ගහක අත්තක් හෝ වැටී ලයිට් නැතිවීම පොඩි කාලෙ සිටම අත් විඳ ඇත්තෙමු. වැටෙන්නෙ ගහක් නම් දවස් දෙක තුනක්ම ලයිට් නැත. ඉතිං ඉටි, කුප්පි ලාම්පු, චිමිනි ලාම්පු සහ විදුලි පන්දම් වල පිහිටෙන් ඒ දවස් ටික ගෙවා ගන්නෙමු. ලයිට් කැපූ දවසට රෑට කුස්සියට වී අම්මා සමඟ අල්ලාප සල්ලාපයේ යෙදීම ෆේස් බුක් යනවාට වඩා ආතල් ය! අම්මාගෙ ඉස්කෝලෙ කාලෙ කතා රසකරමින් රඟපාමින් කියන හැටි මේ දැනුත් මැවි මැවී පේනවා….උදව්වට එන අප්පච්චීද අපි නං මෙහෙමයි කියා ඔහුගේ අතීතයද ඒ අතරට පූට්ටු කරන්නෙ කතා රසය වැඩි වැඩියෙන් වැඩි කරමිනි. අම්මාගෙ කතා Ted talk වැනිය…අප්පච්චීගේ කතා කණාමැදිරි රාත්‍රිය වැනිය….කතා වලට අමතරව පැඳුරු සාජ්ජද සමහර දාට ඇත….අම්මා සුභාශිතය, ගුත්තිලය වගේම සුදෝසුදු විතරක් නෙවේ වන්නම්, ජන ගී ගයද්දී…අප්පච්චී සොකරි, කෝලම්, යාග වගේම බෙල්බොටම් කාලේ ජනප්‍රිය සිංදු වලින් පැඳුර රසගන්වයි. මේ සේරම අතරේ ගමේ රටේ ඕපාදූපද නැතුවා නොවේ. ෆේස් බුක් යූ ටියුබ් තියා ටෝච් එකක් පත්තු වෙන ෆෝන් එකක්වත් නොතිබුන ඒ කාලේ ටීවී එකෙ බලන්ට බැරි වෙන කතා ආයෙ කවදාවත් බලන්නටද බැරිය. ඉස්කෝලෙදි යාලුවෙක්ගෙන් කතාවෙ මොකද උනේ කියා අහගෙන ඇවිත් ඒවා අම්මලාට කියන්නෙ හරියට මං ඒ තිර පිටපත ලියුවා වාගේය. බත මාලුපිනි ඉදුන පසු හතර දෙනාම කෑම මේසයට වාඩි වී චිමිනි ලාම්පුවෙන් රාත්‍රි ආහරය රස විඳින්නෙ ලාම්පු එළියට ඇදෙන කෘමීන් සමඟ කෑම පිඟානට පොර කන ගමන්‍ ය. ඊට පස්සේ චිමිනි ලාම්පුව අයියාටත් මටත් ලැබෙන්නේ පාඩම් කරන්නටය. එළිය මදි කියා ඉටි කෑල්ලක් ඉල්ලා ගන්නේ පාඩම් කරන අතරතුර සෙල්ලම් කිරීමට බව අම්මලා නොදන්නවා නොවේ. පෑන් බට වලින් බැලුම් සෑදීම…ඉටි පෙති මාල සෑදීම..කඩදාසි වල වටේ පුලුස්සා ඒවා අලවා පොත් වලට කවර දැමීම…එවැනි සෙල්ලම් ය. පාඩම් පොතට යටින් කතා පොත් තියන් කියවපු අවස්තාද අඩුවක් නැත.

අද…ත් ලයිට් කපා ඇත….එදා ළඟ සිටි අය අද ළඟ නැත…සුද්දිත් සුද්දත් ළඟ ඇත….එදා කියූ කවි තාමත් මතකයේ ඇත… සුද්දී ඒවා අසාගෙන නිදා ගනී…සුද්දාට නිදිමත උනත් මගේ කතා අසා ඉඳී…තව අවුරුදු තිහකින් ලයිට් නැති අද ගැනත් මං ලියාවිද?
ප. ලි. කොරෝනාවට පසුව පැමිනි ආර්ථික අර්බුදය කාලයෙ ගැලපූ අකුරු සටහනකි.